ඊළාම් දේශයක සිහිනය කරපින්නාගෙන සිටි කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනයත් කොටි සංවිධානයේ පළමු සාමාජිකයා මිය ගිය දිනයත් සමරා කොටි මහවිරු සතිය නොවැම්බර් මස 21 වැනිදා සිට 27 වැනිදා දක්වා මීට වසර ගණනාවකට පෙර සැමරූ අයුරු දකින්නට තිබිණි.
කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනය වූ නොවැම්බර් 26 වැනිදාත් එම සංවිධානයේ කර්නල්වරයකු වූ ශංකර් ආරක්ෂක අංශ ප්‍රහාරයකින් 1982 වසරේ නොවැම්බර් 27 වැනිදා මියයාමත් නිසා එවක සිට යුද්ධය අවසන් භාගය වනතෙක් මහවිරු සතිය සමරනූ ලැබීය.
කොටි නායකයාගේ උපන්දිනය 26 වැනිදා ඔහු වෙනුවෙන් එහි සාමාජිකයන් ඒ කාලයේ තම නායකයාට උපන්දින තෑගි වශයෙන් දුන්නේ උතුරු නැගෙනහිර කොහේ හෝ අසරණ සිංහල හෝ මුස්ලිම් හෝ ආරක්ෂක අංශ සාමාජිකයන් වෙඩි උණ්ඩවලින් හෝ කපා කොටා මරා දමා සිදුකරන ලේ වැගිරීම් වලින්ය. මේ කොටි නායකයා සිටියේ නම් මේ වනවිට 62 වියේය. එසේ වී නම් අද වනවිට කොතරම් ලේ වැගිරීම් සිදු වී තිබෙනු ඇද්ද රට කොතරම් අඳුරු අගාධයකට ගොස්ද යන්න වටහා ගත හැක.
2009 වසරේ මැයි 19 වැනිදායින් පසුව කොටි සංවිධාන කතාව තුරන් වී යන්නට පටන් ගැනිණි. එදා මියගිය මහවිරුවන් සැමරූ සොහොන් සියල්ලක්ම ඉවත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්තේ එම ජනතාවගේ හිතේ ඇති වූ යුද මානසිකත්වය අකා මකා දමන්නටය. එය යහපත් ක්‍රියාවක් බව බොහෝ දෙනකුගේ මතය විය.
යුද්ධය අවසන් වී වසර 7 ක් ගිය තැන අද උතුරු නැගෙනහිර බලය ඇත්තේ දේශපාලනයටය. ඒ දෙමළ ජාතික සන්ධානයටය. එදා කොටි සංවිධානය වෙනුවෙන් පෙනී සිටින බවටත් එම සංවිධානයෙන් පෝෂණය වන බවත් කී දෙමළ ජාතික සන්ධානයට අද වනවිට සිදුව ඇත්තේ කුමක්ද යන්න මඳකට සිතිය යුතුය.
දෙමළ ජාතික සන්ධානයේ නායකයා වූ ආර්. සම්පන්ධන් මීට පෙර කොටි සංවිධානයට හිතවාදීව අදහස් පළ කළද මේ වනවිට ඒ සියල්ලක්ම තුරන් වී ගොස් ඇති බව මෙවර මහවිරු දිනයෙන් පෙනෙන්නට විය.
මෙවර මහවිරු සැමරැම් වෙනුවෙන් දේශපාලනික පැත්තේ හඬනැගුවේ ඉතා සුළු පිරිසකි. ඒ ප්‍රභාකරන්ගේ මස්සිනා වූ දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් හා මාවෙයි සේනාධිරාජා යන අයත් පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ඇතුළු බොහොම සුළු පිරිසක් වීමෙනි.
සුපුරුදු විදිහට මෙවර මියගිය ඥාතීන් සැමරුමට කලින් සිවාජිලිංගම් මන්ත්‍රීවරයා මාධ්‍ය සාකච්ඡාවක් තියමින් මහවිරු සතිය සමරන්නට සියලුදෙනා එක්වන්නයි ඉල්ලා සිටියේය. මෙහි යථාර්ථය පෙනී ගියේ මහවිරුවන් සැමරීමට ජනතාව අතර සැළකිය යුතු අවශ්‍යතාවයක් නොමැති බවක්ය. එය ජනතාවට වඩා යම් දේශපාලනික වාසියක් වෙනුවෙන් හඬ නැගීමක් විතරයක් යන්නට පෙනී ගියේ එදා කොටි පාලන කාලයේදී ලක්ෂ ගණනක් සැමරූ මහවිරු සැමරුම් වෙනුවෙන් මෙවර සහභාගී වී සිටියේ දෙදහසකටත් අඩු පිරිසකි.
යුද්ධය අවසන් වී වසර 7ක් ගිය තැන මහවිරු සැමරුම් සිදු කිරීමට යම් අවසරයක් රජයෙන්ද ලැබී තිබුණේ කිසිදු අයුරකින් කොටි නායකයාගේ රුව හෝ එම සංවිධානය ප්‍රදර්ශනය නොකොට මියගිය අය වෙනුවෙන් සැමරීම් සිදු කළ හැකි බවටයි. එසේ නොකොට තහනම් සංවිධානයක් හෝ එහි නායකයා සමරන්නේ නම් නීතිය ක්‍රියාත්මක කරන බවට රජය විසින් නිවේදනය කොට තිබුණි.
සුපුරුදු විදිහට කොටි හිතවාදීන් එදා සිටම සිටිනවායි සැක කෙරෙන යාපනය සරසවියේ පළමු සැමරීම සිදු විය. ඊට පෙර සරසවියේ ස්ථාන කිහිපයකම කොටි නායකයාගේ රුව ඇතුළත් පෝස්ටර් කිහිපයක් අලවමින් කිසියම් පිරිසක් විසින් රාත්‍රියේ අලවා තිබුණේ කොටි නායකයාගේ උපන් දිනය සමරමු යනුවෙන් සඳහන් කරමින්. ඒ නොවැම්බර් 25 වැනිදාය. ඊට හේතුව වුණේ නොවැම්බර් 27 වැනිදා ඉරිදා නිවාඩු දිනයක් නිසාවෙනි. සරසවි සිසුන් මහවිරු දිනය සැමරුවේ උගුරට හොරා බෙහෙත් කන්නාක් මෙනි. කොටි සංවිධානයේ නිල ලාංඡනය වූ නියඟලා මල යොදගනිමින් ඔවුන් මහවිරු සැමරුම සිදුකළේ සරසවියේ සිසු සංගම් හා ඇදුරුතුමන්ලාගේද සහභාගීත්වයෙනි.
අනතුරුව යාපනයේ යාපනය වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේ මහවිරුවන් මිහිදන් කළ ස්ථානයකද මහවිරුවන්ගේ ඥාතීන් විසින් සැමරූ අතරම යාපනය කෝපායිහි යුද හමුදා කඳවුරක් ඉදිරිපිට දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම්ගේ ප්‍රධානත්වයෙන් පහන් දල්වා මහවිරුවන් සැමරීම සිදු කෙරිණි. එහිදී සිවාජිලිංගම් මන්ත්‍රීවරයා කියා සිටියේ අදාළ යුද හමුදා කඳවුරු ඉදිකොට ඇත්තේ මීට පෙර මෙම ස්ථානයේ මහවිරුවන් මිහිදන් කළ ස්ථානයක බැවින් ඕනෑම අයකුට ඕනෑම ස්ථානයක මහවිරුවන් සැමරීමට අයිතියක් ඇති හෙයින් මෙසේ යුද හමුදා කඳවුරු ඉදිරිපිට සැමරීම කළ බවටයි.
මේ අතර කිළිනොච්චිය කනකපුරම් හා මුලංකාවිල් ප්‍රදේශයන්හි මහවිරු සුසාන භූමි පැවති ස්ථානයන්හි මහවිරුවන්ගේ පවුල්වල ඥාතීන් දහසකට වැඩි පිරිසක් රැස්ව මියගිය මහවිරුවන් සැමරූහ. මෙහි ප්‍රධාන ආරාධිතයන් වූවේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා සහ එස්. ශ්‍රීධරන් යන අයයි.
නමුත් මෙවර ආරක්ෂක අංශද වෙනම මුහුණුවරක් ගෙන කටයුතු කළේය. පෙර මෙන් මහවිරු සැමරුම් සිදුකරන ස්ථාන වෙතට ගොස් තොරතුරු වාර්තාකරණයක් හෝ කිසිදු ක්‍රියාවක් සිදු නොකෙරිණි. එමගින් මේ සියල්ලක්ම සාමාන්‍ය සැමරුමක් වශයෙන් සිදුවිය. මාධ්‍යයෙන්ද සැලකිය යුතු ප්‍රසිද්ධියක් නොලැබුණි. මේ සැමරීම්වලට ආරක්ෂක අංශ හෝ කවුරුන් හෝ මැදිහත් වූවා නම් ඔවුන්ට වෙනම ප්‍රසිද්ධියක් ලැබෙන්නට තිබුණි. දේශපාලන වාසි වෙනුවෙන් පෙනී සිටියවුන් අපේක්ෂා කළේද එවැනි මැදිහත්වීමකි. ඔවුන්ට ප්‍රසිද්ධියක් ලබා ගැනීමේ පරමාර්ථයෙනි.
මෙහි තවත් විශේෂත්වයක් වුණේ කොටි සංවිධානය වෙනුවෙන් මීට පෙර කතා කළ ආර්. සම්පන්ධන් වත්මන් විපක්ෂ නායකවරයා මෙවර සම්පූර්ණයෙන්ම නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමය. එමෙන්ම එම්.ඒ. සුමන්තිරන්ද එවැනිය. උතුරෙන් යුද හමුදාව පලවා හරින්නට මාන බලමින් ෆෙඩරල් පාලනයක් ඉල්ලූ උතුරු මහ ඇමතිද මෙවර කිසිදු මහවිරු සැමරුමකට එක් නොවීය.
මෙම ක්‍රියාවන් දෙසා බලා සිටිමින් මහවිරැවන් සැමරූ එම පක්ෂයේ සාමාජිකයන් කියා සිටියේ දෙමළ ජනතාව පාවාදීමක් වශයෙන්ය. දෙමළ ජාතික සන්ධානයේ නායකයන් ප්‍රබල ක්‍රියාකාරීන් එවැනි පිළිවෙතක් අනුගමනය කරද්දි මෙවර මහවිරු සැමරූ බොහෝ වැසියෝ එදා මෙන් සංවේදී නොවූහ. හඬා වැළපුණේ 10% ටත් අඩු පිරිසකි. සමහර විට ඒ ඔවුන් කොටි නායකයා එදා ජනතාව රවටමින් වැපුරූ ඊළාම්වාදී සිතුවිලි දැන් වැටහී ඇති නිසාවෙන් එදා තමන් ඇතුළු දුවා දරුවන් රැවටුණු නිසා වන්නට හැකිය.
♦ වන්නි රොමේෂ් මධූෂංඛ